Skip to product information
1 of 2

UK සිංහල පොත් කඩේ

Aparadha Rajyayak | අපරාධ රාජ්‍යයක් by Kasun Pussewela

Aparadha Rajyayak | අපරාධ රාජ්‍යයක් by Kasun Pussewela

Regular price £14.99 GBP
Regular price Sale price £14.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.
නූතන ශ්රී ලංකාවේ කෲර දේශපාලන යථාර්ථය හමුවේ ලසන්ත ඝාතනය යනු හුදෙකලා සිදුවීමක් නොවේ'
'මම ලසන්තව දන්නේ පොඩි කාලේ ඉඳලා. අපි දෙන්නම
ගියේ කොටහේනේ එක ඉස්කෝලෙට. ඒ කාලේ කොටහේන
කියන්නේ හැමෝම එක එක්කෙනාව ළඟින් දන්න, හැමෝම
එකිනෙකාව බලාකියාගත්ත, එකට බැඳිච්ච ප්රජාවක්. ලසන්ත
විනෝදෙන් කාලේ ගත කරපු, ඉස්කෝලේ හිටපු දඟ කොල්ලෙක්. ශූර වමත් පන්දු යවන්නෙක්. ඔහුට බුද්ධිමය හාස්යය උත්පාදනය කිරීමේ තියුණු හැකියාවකුත්, එදිනෙදා ජිවිතයේ අතිශයින් සාමාන්ය සිදුවිම්වල පවා නාටකීය බව අල්ලා ගැනීමේ අති සියුම් ඉවකුත් තිබුණා. ලසන්තගේ ඇසුර අපි කාටත් ගෙනාවේ ප්රමෝදයක්.
ලසන්තව මරල දාපු දවසේ උදේ, එයාගේ මිනිය තිබ්බ
ෆියුනරල් පාලර් එකට ගියාම මට ලසන්තගේ අයියා, ලාල්ව මුණ ගැහුණා. මාව දැක්ක ගමන්, උගුරෙ හිරවෙච්ච වචන අමාරුවෙන් පිට කරමින් එයා මට කිව්වේ මෙච්චරයි. ‘ඔයාගේ යාළුවට උං කරල තියෙන දේ බලන්න.’ ඒ වෙද්දි ලසන්තගේ මිනිය සුද්ද කරල තිබ්බේ. මහ දවාලේ තියුණු උලකින් හිස් කබලට ඇණල මරලා දාපු ලසන්තගේ මළ සිරුරින් ඒ ම්ලේච්ඡ ඝාතනයේ සාහසිකත්වය හංගන්න එම්බාම් කරුවො හුඟාක් මහන්සි වෙලා තිබ්බා.
ලසන්ත ඝාතනය අපරාධයකට එහා ගිය දෙයක්. එය, මේ රටේ බලයේ සිටි පාලකයන්ගේ දූෂණ සහ වංචා හෙළිදරවු කිරීමේ වෘත්තීය මෙහෙවර වෙනුවෙන් සිය වැඩිහිටි ජිවිතයේ වැඩිම කාලයක් කැප කළ මිනිසෙකුගේ මළ සිරුර මත, දුටු සැණින් ඕනෑම කෙනෙකුට දැනෙන සේ කොටා තිබූ අනතුරු ඇඟවීමක්. නූතන ශ්රී ලංකාවේ කෲර දේශපාලන යථාර්ථය හමුවේ ලසන්ත ඝාතනය යනු හුදෙකලා සිදුවීමක් නොවේ. මීට පෙර ජනමාධ්යවේදින් ඇතුළු විශාල පිරිසක් වධ හිංසාවලට ලක්කර, අතුරුදහන් කරවා මරා දමා තිබුණා. නමුත් ලසන්ත කියන්නේ එසේ මෙසේ මිනිහෙක් නොවේ.
ඔහු ඉතුරු කර ගියෙත් ලේසි පහසු උරුමයක් නොවේ. ඔහු නිරත වූ ජනමාධ්යකරණ භාවිතයේ මාදිලිය සමාජයේ බලය රහිත තැන්වලින් පැන නැඟුනක් නොවේ. ලසන්ත කියන්නේ රටේ ඉහළම තැන්වල හිටපු අය තමන්ගේ සමිප යාළුවො වෙච්ච, ප්රබල දේශපාලන සම්බන්ධතා තිබුණු, අතිශය බලපෑම් සහගත චරිතයක්. ලසන්ත තමන් සතුව තිබූ ඒ වරප්රසාදය පළිහක් ලෙස යොදාගන්නවා වෙනුවට එළියක් කරගෙන ආණ්ඩුවේ අඳුරු පළුදු සහ හිඩැස් අතරින් රිංගා බැලුවා.
ඔහුගේ පුවත්පත, නිර්භය සිරස්තල පිටුපස සිට ඉටුකළේ මාධ්ය වාර්තාකරණයට එහා ගිය භූමිකාවක්. එය, පාලක ප්රභූ පැළැන්තිය දේශපාලන මුක්තියට මුවාවෙමින් මහා පරිමාණ දූෂණ වංචා හරහා කෝටි ප්රකෝටි ගණන් මහජන මුදල් සොරාකන අන්දම හෙළිදරවු කරමින් ජනතා සේවයක නිරත වුණා. සමහර විට, තමන් මේ රටේ සාමාන්ය මිනිසුන් වෙනුවෙන් සේවයක් කරනවාය, සමාජ වගකීමක් ඉටු කරනවාය කියන ප්රබල හැඟීම විසින් මෙහෙයවුණු නිසා වෙන්න ඇති, ඔහු වටා සිටි බොහෝ දෙනෙක් මර්දනයට බියෙන් හඬ බාලකරපු කාලයක ලසන්ත පසුනොබා දිගටම ලිවීමේ යෙදුණේ. ඇත්තටම ලසන්තට තමන්ගේ ජීවිතේ ගැන බයක් නැද්ද?
ලසන්ත ළඟින් හිටපු හිතවතුන්ගෙ ඔලුව ඇතුළෙ මේ ප්රශ්නය දිගින් දිගටම නැගුණා. ලසන්ත දිගටම මේ විදියට ලියන්නෙ, නිර්භීතකම නිසාද? නැත්නං, තමන්ට කවුරුත් අත තියන්නේ නෑ කියන නිශ්චිත විශ්වාසයක් ඔහු තුළ තිබුණු නිසාද? අපිට කවදාවත් මේක දැනගන්න ලැබෙන්නේ නෑ. අපි දන්නෙ එක දෙයයි. ඒ තමයි ලසන්ත හැමදාම උදේ නැගිටල වරද්දන්නැතුව පත්තර කන්තෝරුවට ගියා කියන එක.
1990දී පත්තර කාර්යාලයට වෙඩි තිබ්බට පස්සෙත්, යන යන තැන ඔත්තුකාරයො ලුහුබඳිනව කියල දැනෙද්දිත්, දිගින් දිගටම මරණ තර්ජන එල්ල වෙද්දිත්, වටේ පිටේ හිටපු මාධ්යවේදීන්ව පැහැරගෙන ගිහින් ඇටකටු පොඩිකරල දාද්දිත්, ලසන්ත පත්තරේ වැඩට ගියා. කොටින්ම තමන්ව ඝාතනය කෙරුණු ඒ ඉරණම්කාර දවසේ උදේත් ඔහු නැගිටලා පත්තර කන්තෝරුවට ගියා.
එදා බ්රහස්පතින්දා දවසක්. රේන් වික්රමතුංග විසින් රචිත Unbowed and Unafraid පොතේ විස්තර කරන විදියට ‘පත්තර කන්තෝරුවේ කාර්යබහුල දවසක්. පත්තරේ ප්රධාන පිටු සකස් කරමින් තිබුණෙ. අංශ ප්රධානින්, වාර්තාකරුවො, උප කර්තෘවරුන්, පිටු සකසන්නන් වරින් වර උපදෙස් ලබාගන්න, වැඩවල ප්රගතිය වාර්තා කරන්න, ලසන්තගේ කාමරේට යනව එනව. එදා තමයි ලසන්ත සතිපතා අත් අකුරින් ලියන, අවුරුදු කීපයක් තුළ භක්තිමත් අනුගාමික ප්රජාවක් විසින් වැළඳගත් Inside Politics කියන දීර්ඝ සහ ගැඹුරු විශ්ලේෂණාත්මක තීරු ලිපිය ලියන දවසත්.’ භක්තිමත් අනුගාමික ප්රජාවක්. අපි සාමාන්යයෙන් මේ වචන පාවිච්චි කරන්නේ ආගමික නායකයකු නැති නම් ජනප්රිය දේශපාලකයකු ගැන කතා කරද්දි. ඇත්තටම, සමහරවිට ලසන්තට තමන්ගේ පත්තර වාර්තාකරණය ගැන දැනෙන්න ඇත්තේ මෙහෙම වෙන්න ඇති. කිසියම් පූජනීය කැපකිරීමක්, ඉහළින් කෙරෙන කැඳවීමක් වැනි හැඟීමක්. එවැනි මිනිසුන් නිතර පහළ වන්නේ නැහැ. ඔවුන් නැති වූ විට ඇතිවන හිස්තැන පිරවීම පහසු නැහැ.මේ අපරාධ රාජ්යයේ ඝාතකයන් සතු ආයුධය එයයි. ඒකයි උන් ලසන්ත වැන්නන් මරා දාන්නේ.
එදා ලාල් කියපු වචන තාමත් මගේ ඔලුවේ දෝංකාර දෙනවා. උං ඔයාගේ යාළුවට කරල තියෙන දේ බලන්න. මේ පොත ලියන්නට කසුන් පුස්සෙවෙල තුළ තිබූ අති මහත් ධෛර්යයත්, පහුගිය දශක එකහමාරකට ආසන්න කාලය පුරා ඔහු නිරත වූ නිර්භය මාධ්ය වාර්තාකරණයත් ඇගයෙන මේ මොහොතේ, ලාල්ගේ ඒ වචන වෙනස් විදියකට මගේ මනසේ පෙළ ගැහෙනවා. මගේ යාළුවා කරපු දේ බලන්න. ඔහු අප වෙත මේ තබාගොස් ඇත්තේ අසාමාන්ය උරුමයක් නේද?
පීටර් ඩී. අල්මේදා
(පරිවර්තනය නදී කම්මැල්ලවීර)
උපුටා ගැනීම -
අපරාධ රාජ්යයක් - අසංක්ෂිප්ත පරිච්ඡේදයක් කෘතියේ පසුවදනින්.
View full details